Sunday, April 29, 2018

අහිංසක රථාචාර්ය කථා වස්තුව

යටගිය දවස මෙසිරිලක නාරම්මල ග්‍රාමයහිදී සත්‍යවාදීන්ගෙන් අග්‍රවූ කොකානන්ගේ සරණබන්ධනෝත්සවය හා බැඳි දෙවෙනි ගමනෝත්සවය ජයටම සැමරීය. එ්හා සහභාගී වනු වස් කොක් තෙමේ සිය සරසවි මිත්‍රයන් වන ගෝරානණ්, කැඹුලාණන්, ගයියානණ් වන් ප්‍රභූනටද, සැටාණන්, විස්සේ සිටාණන්, බාවාණන්, පෝනියාණන්, උක්කුවාණන් වන් පඬිවරුනටද, වලාණන්, ගින්නාණන් වන් ජන නායකයනද, පියුමාණන් සහ ඇම්ඩාණන් වන් පීඩිතයනටද ආරාධනා කලහ. එකී දනෝ සිය ජීවිකාවන් නිමවා අගනුවරින් මහත්වූ දුර ගෙවා යායුතු බැවින් මිත්‍රවරුන් කිහිපදෙනා එක්ව සිය රථ උපකාරකොටගෙනැ අන් රථ තදබදද දරා අවුත් සිටියහ. නමුත් ඇම්ඩාණන් ඡර්මාසාදන ලීලාවක් දිස්කරමින් කලින් පැමින මගුළ් කර්මාන්තයෙහි යෙදී සිටියහ. එය කවර හේතුව කරණකොටගෙනැද යත්.

යටගිය දවස ඉහත කී දනෝ සරසවි දෙවි සරණ ලබන කල රුවන්පුර ඇම්ඩාණන්ගේ නිවසේ පැවැති ඇම්ඩාණන්ගේ බාල අක්කන්ඩියගේ සරණබන්ධනෝත්සවය වෙනුවෙන් ඇම්ඩාණන්ගේ සරසවි සගයන් වූ ගිණියාණන් (ගින්නාණන් නොවේ), සිරිමලුන් ද සමග ඇම්ඩා හා ඉතාමත් කුළුපගවූ  කොක් තෙමේ සැරසිලි, ආහාරපාන, මධ්‍යපාන ආදී කර්මාන්තයෙහි ඉතා නොමද උපකාර කලහ. එහිදී මෙයාකාරයෙන් මවෙත උපකාරවූවන් වෙත තෙමේද නොමසුරුවැ ආධාරවෙම්මැයි ඇම්ඩාණන්ද ඉටාගත්හ.

මෙලෙස කොක් තෙමෙගේ සරණෝත්සවය වෙත මුල් භාගයෙහි පැමිනි උක්කුවාණන් පොදු රථ උපකාරකොටගෙනැ පැමිනි ඇම්ඩාණන්ගෙන් "ඇම්ඩ, නුඹ යළි නිවෙස කරා කෙසේදැ"යි විමසීය. එකල්හි ඇම්ඩාණන් "සිය රිය හසුරාගෙන පැමිනීමට නියමිත වලාණන් වහ වහා සාද විඩා ලබන බැවින් මා හට රථාචාරී වීමට ඇරයුම් කලා"යි පැවසීය.

"උන් කැටුව පැමිනෙන අහිංසක තෙමේ හට රිය හසුරවනු නොහැක්කේ මන්ද" යැයි උක්කු පඬිතෙමේ විමසන කල්හි ඇම්ඩාණන් සිහිමඳව "උන් සියල්ල සාද විඩා ලබනු ඇතැයි" පැවසීය. තියුනු කල්පනා ඇති උක්කු පඬිතුමා "සබඳ නැත, එ් වූ කලී වෙනත් කරුණක් කරණකොටගෙනයැයි වලාවෙන් වැසි සුපුන් සඳක් පාදන්නා සේ පැහැදීය.

ඒ කෙසේද. යත්, යටගිය දවස ඉහත කී පිරිස ද්විතීක සතර හදාරන කල්හි රාගම ග්‍රාම වාසී බකුවානන්ගේ නිවසෙහි අවමංගල්‍යයක් යෙදුනි. සියල් සිතැති මහරු ගුණැත්තා වූ එතුමාණන්ගේ නිවසෙහි කටයුතු වෙනුවෙන් සරසවියෙන් අඩක් පමනැ එගෘහය වටා උන්හ. සකල වාද්‍ය භාණ්ඩයනට ප්‍රවීන වූ ප්‍රවියා මානවකයන් සිය හැකි පමණින් සහය වනු වස් සිය බට්ටා රථයෙහි නැගී පැමින අනේක කර්මාන්තයනට ඇවෑමෙන් මඳ විරාමයක යෙදුනේය. එකල්හි මතුවූ තවත් කරතව්‍යයක් අරබයා "මානවකය, සල්පිල වෙත යාම් ඊම් සඳහා රථය හැසිරවියමැනවැයි" අයෙක් වීමසීය. විඩාබරිත මානවක තෙමේ "සබඳ, කොල අහිංසක තෙමේ රතාචාරී බව මම දනිමි. ඔහු හා මාගේ රථයේ යනු මැනවැයි" කීය. යහපතියි ගිවිසගත් හෙතෙම එඅවසරෙන්. නික්මුනහ.

මද වේලාවකින් අක්වක් සෙයියාවෙන් තුන්රෝද රියක් පැමිනෙනු නෙත්ගැටී ප්‍රවියා මානවකයානන් සිය සගයන වෙත අපහසෙක් සේ "මේ එන තුන්රෝද රියේ රථාචාරී තෙමේ වීථියෙන් යානොහී කාණුවක වැදහොත්තාවූ බට්ටා රථය කාගේ වීදැයි විමසුවහොත් කෙසේවීදැයි" වීමසීය. අහෝ ආශ්චර්යයකි! තුන්රෝද රථාචාරී තෙමේ ගෙන ආ පුවත එයමය. එසමයෙහි සිට සියල්ලෝ අහිංසකතෙමේ යකැදුරු යකුන් දුරු කරන්නනාසේ රියැදුරුවනබැව් සිහිදැරූහ.

එසේ තතු පැහැදූ මනාකොට පුවත් පහදන්නා බැවින් "කතන්දර ආතා" ගරු නමැත්තාවූ උක්කු පඬිතෙමේ එහිවූ දනෝ සොම්නසින් සුඛිත මුදිත කලහ෴

Wednesday, May 31, 2017

කුහක රසය.....


අතීතයෙ පටන් ජනයා පු_ කසතී
කැසූ පසු සුවඳ නිසිලෙසදැයි බලතී
එදා පටන් කුණු රස හොඳටම විඳිතී
වටේ අයගෙ දුක් කුණු දැක තලු මරතී

කම් සැප විඳින්නට හැඟුමන් සැමට ඇතී
අන්තර්ජාලෙ “නිල්” පිටු හෙම එමට ඇතී
එනමුදු තරුවකගෙ බලනට පිරිය ඇතී
ලීක් කර ඔවුන් එම රස තලු මරතී

සොබාවික විපත් මේ ලොව එමට ඇතී
ජපානයේ මළකුණු අප දැකලා නැතී
එනමුදු දරුවො, ගැහැණුන් මෙහි මැරී ඇතී
මූනුද පෙන්නලා මිනිසුන් තලු මරතී

අනේ කියා කියුවද එහි වැරදි ඇතී
හොඳයි කියා කීවද එහි වැරදි ඇතී
තමන් හට නොවූ කල කුණු රසය දෙතී
බලුකම නිසා පෙන්වා “ලයිකය” හිඟතී

Saturday, June 27, 2015

මොහොතෙන් ඩයල් එක වීමට යාම හෙවත් කන්දඟලක ජාතකය.

"පෝනියා" යනු සරසවිය විසින් මා හට ලං කල ඉතා දැනෙන මිත්‍රයෙකි. සැමවිටම ප්‍රසන්න මුහුණක් දරන ඔහු නිතරම විනෝදබර ලීලාවකින්, නැතිනම් අනවශ්‍ය දෙයක් ගැන කල්පනා කරමින් සිටින්නෙකි. නිතරම සින්දුවක් මුමුණමින් සිටින්නද හුරු වී සිටි ඔහු, බොහෝ විට මා හට මුනගැසෙන්නේ ගායනා කිරීමට අපහසු ගීතයක් හෝ අමුතු ජාතියේ ප්‍රශ්නයක් සමගිනි.

දිනක් ඔහු සුපුරුදු ලෙස විනෝදබර ලෙස පැද්දි පැද්දී සින්දුවක් මුමුණමින් මා අසලට පැමින "මචං ඇම්ඩන්, (ඔහු මා හට ඇම්ඩා ලෙස නොඅමතයි) උඹට මේ සින්දුව කියන්න පුලුවන්ද. යැයි කියමින් සින්දුවක් ගෙනහැර පෑවේය.


විනාඩි කිහිපයක් මහන්සි වී උගුරත් එක්ක පොරබදන අතර "මචං අපිත් අර කන්දඟලක ජාතකයේ වගේ උගුර කඩාගෙන මැරෙන්නයි හදන්නේ" යැයි කීවේය. අමුතු වචනයක්ද සමගින් අන්දමන්ද වී "ඒ මොකද්ද බං ඒ" යැයි මම ඇසුවෙමි. 

ඇත්දත් පැහැති හොටැති කෑරලා (Ivory Billed Woodpecker)


"ඔන්න මචං ඇම්ඩන් බෝධිසත්වයෝ එක ආත්මෙක කදීරව කියලා කෑරලෙක් වෙලා හිටියලු හරිය. ඒ කාලේ කන්න තිබුනත් කාලයක් යද්දි ගස් එහෙම අඩු වෙයි කියලා මෙයා හෙණටම ප්‍රැක්ටිස් කරලා කිහිරි ගස් වලට හිටන් කොටලා පනුවෝ අරන් කන්න පුරුදු වුනාලු. මෙහෙම යද්දී අර හයිය නැති ගස් එහෙම අඩු වෙලා කිහිරි ගස් වගේ හයිය ගස් විතරක්ම වගේ තිබුන කාලෙක වෙන කැලේකින් කන්දඟලක කියලා කියලා මෙයා‍ගේ යාලුවෙක් කදීරවව බලන්න ආවලු. මූට කන්න නැති හින්දා මගේ ගාව හිටපන් කියලා කදීරව කිහිරි ගස් වලට කොටලා ලොකු ලොකු පනුවෝ මූට දෙනවලු. ඉතින් කන්දගලකයත් කැවුම් කනවා් වගේ මේවා කනවලු. කදීරව කිවුවලු උඹ මේ වගේ ගස් වලට ප්‍රැක්ටිස් නැති නිසා කොටලා හොට තලාගන්නේ නැතුව හිටපංය කියලා. ඒත් මූට හයිය එහෙම ආවම කදීරවට විතරද හයිය තියෙන්නේ? හැමදාම කදීරවට වද දෙන්න බෑ කියලා මූ වෙර වීරිය අරගෙන ගැහුවලු එකක් ගහකට හොටෙන් උගේ හොට තැලිලා, ඔලුව පැලිලා එතනම මළාලු"

"අපිත් ඇම්ඩන් ඒ වගේ. මේ ගායකයෝ පොඩි කා‍ලේ ඉඳන් වොයිස් ට්‍රේනින් කරලා උගුර හදාගෙන කියන සින්දු අපි අහපුගමන් අපි ඩයල් කියලා හිතා‍ගෙන කියන්න යනවා නේද" යැයි කියමින් පෝනියා සන්ධි ගලපා කතාව නිම කලේය.

Friday, June 12, 2015

හීනමානය

ඔන්න ඉතින් සුපුරුදු පරිදි අදත් අපේ ඇම්ඩානන් පේශ් බුකියට (සමාවෙන්න Facebook එකට) සීහරාවයෙන්, හේශාරා‍වයෙන් ගොඩවිය.

"අම්මටසිරි! මෙන්න friendship request එකක්!! කෙල්ලෙක්ද දන්නේ නෑ." පැතුම් ගොඩ ගසමින් බලන කල ගොඩේ ගොඩය, අසිරිය මරුය, කෙල්ලෙකි!!! "නගා මම එනවා" කියා හදවත කීරි ගැසි ගැසී ඇම්ඩානන් ඇගේ රූප බලන්නට විය. අැය ඇත්තෙන්ම රූමත්ය. එහෙත් තවත් ඉදිරියට යනකල ඇය 'ඇම්ඩා සිතනයුරින්' ඇම්ඩාට වඩා රු‍වෙන් අඩු කොලුවෙකු සමග වෙලී සිටිමින් ගත් සේයාරුවක් දිස්විය.අහෝ මා හට සුරස ඵල නැත යැයි කියමින් ඇම්ඩානන් ශාලිත අබේවික්‍රමයන්ගේ ගීයකින් කොටසක් ගයමින් එම profile එකෙන් ඉවත් විය.


"අඩේ ම‍ගේ නොටිපිකේසොං (notifications) ටික බැලුවෙත් නෑනේ" යැයි කියමින් ඇම්ඩානන් බලන කල වහපු මිත්‍රයන්(material එකක් කියනවා'close friends') පාට පක්ෂ වෙනුවෙන් බුර බුරා නගන බිරිල්ල මැද්දෙන් මිත්‍රයෙකු නව රථයක් ගෙන ඇත. "හරි සන්තෝශයි මචං" යනුවෙන් ටයිප් කලද 'අනේ මගේ රිය පරණයි නේද යනුවෙන් ඇම්ඩානන් කණගාටුවිය.

"ගඟ ගාවට ආපු එකේ මූණ හෝදන්නවත් එපායැ යැයි" මෙන් ඇම්ඩානන් පුවත් කැවීම් ("semi lunar valve" එකට අඩ සඳ කපාටය කියුවානම් news feed වලට ‍මෙහෙම කිවුවට මොකෝ?) බලන්නට විය. විසිතුරු රූප අතරේ මෙන්න මිතුරන් පිරිසක් පාටිියක් (සමාවෙන්න සාදයක්) දමා ඇත. "අනේ අපි කාලෙකින් මෙහෙම එකතු වුනේ නෑ නේ" යැයි ඇම්ඩානන් කනගාටු විය. "මෙන්න අරූ ට්‍රිප් එකක් (මෙතනින් එහාට අනවශ්‍ය පරිදි සිංහල කිරීමට වැඩිය මහන්සි නොවෙමි.) ගිහිල්ලා" ඇම්ඩානන් තවත් පීඩිත විය. "අනේ මට කතා ක‍රේ නෑ නේ" යැයි සිතමින් තවත් පහලට යන විට දන්න කියන, ඇහැට කනට පේන (කනට පෙනෙන කියන්නේ Dare Devil ට වගේ වෙන්න ඇති) තරුණියක් "In a relationship" (අන්තතර්ජාලයට එන්න සාක්ෂරතාවයක් තියෙනවා නම් මේක කියවන්න බැරි වෙන්න බෑ) ලෙස දමා ඇත. "අනේ දෙවියනේ" කියමින් ඇම්ඩානන් විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාගේ ගීයක් මුමුනන්නට විය.



මෙසේ පහලට යන කල ගැබා මල්ලි බ්ලොගයක් දමා ඇත. එය කියවන කල ඇම්ඩානන්ගේ සිංහල ගතිය මතු විය. "ඌ මිනී පෙට්ටි සාප්පුවක් දැම්මා නම් මාත් දානවා" යැයි සිතමින් ඇම්ඩානන් බ්ලොග් ගල් කපන්නට සිතුවේය.....

ප.ලි. 1 ලෝකෝත්තර නොවන ලෞකික ජීවිතයේ ඇලී සිටින අප හ‍ට නිතැතින්ම හීනමානය නම් වූ මානසික රෝගය වැළඳීම ඉතාමත් ස්වභාවිකය. එය ඉරිසියාව තෙක් ඔඩු දිවීමට යා නොදී මෛත්‍රී සිතෙන්සතුටු වීමෙන් සිතට සහනයක් ලැබෙනු ඇත. කෙසේ වුවද ඔබගේ ජංගම දුරකථනයෙන් සැරින් සැරේ ‍Facebook යාම හීනමානයෙන් ඔබව පීඩාවට පත් කිරීමටද, අමතකවීම් වලටද, කාලය කා දැමීමටද හේතු විය හැක. එම නිසා notifications ක්‍රියා විරහිත කොට ‍සිටීමෙන් මනස ප්‍රබෝදමත් කරනු ඇත.



ප.ලි. 2 ගැබා මල්ලිගේ රසවත් බ්ලොග් පිටු මගේ සිතට මහත් අස්වැසිල්ලකි. මල්ලියේ, තව තව ලස්සන ලිපි ලියන්න උඹට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න ඕන.

Wednesday, June 10, 2015

ඔබ ස්ත්‍රියක නම් හෝ, ඔබට මිතුරියක්, සොයුරියක්, බිරියක් හෝ මවක් වත් සිට ඇතිනම් කියවන්න

"## කෙල්ලෙක්, අර මනුස්සයා මෝටර් සයිකලයෙන් බැස්සුවාට පස්සෙයි ඒ පැන්නේ."

දවල් අම්මත් සමග ගෙදර එන අතරේ මා ඒ තරුණ යුවතිය බොහොම අමාරුවෙන් බේරාගත්තේ පෙර පිණකිනි. ඉන් පසුව පිටවුනු මගේ සුසුමට පිළිතුරු දෙමින් අම්මා පෙර වදන් පෙළ කීවේ කේන්තියකින් නොව කණස්සල්ලෙනි. ඒ ඇසූ සැනින් මගේ හිතටද බර ගතියක් දැනුනි. ඒ මන්ද යත් ඇයගේ ඒ විසිරී ගිය කෙස් කළඹත්, අවුල් වූ ඇඳුමත්, යතුරු පැදියේ මගියාගේ පෙනුමත්, එක්වනම පාර නොබලාගෙනම එහෙත් සෙමෙන් පාර හරහා ගිය ඇගේ රූමත් එහෙත් අඳුරු මුහුණත්, පෙර කී වදන් සනාත කරවීය.

උපතින් සොයුරියන් දෙදෙනෙකුගේ බාල ‍සොහොයුරා වීම 'ගැහැණු ළමයෙකු' කියන දේ ඇති බර කුඩා කල සිට නිතැතින් මට දැනෙන්නට සලස්වන්නට ඇති බව මම හඟිමි. අනේ කුඩා කල ‍සැමට සොම්නස බෙදා පුළුන් රොදක් දේ සිනහසෙමින් සැහැල්ලුවෙන් සිටින ඇයට, 'සමාජය විසින් කෙමෙන් සිරුර පුරා ඔඩුදුවන පිළිලයක් කරවූ' මල්වර වීම යන මොහොතක සතුට කොතරම් ඇයව පීඩාවට ලක් කරනවාද? අහෝ අර සතුට නිදහස සදාකාලිකව ඇයව හැරයන හැටි.

අර යුවතියද එවැනි දරුවෙක්ව සිටින්නට ඇති නේද, ඒ දරුවාගේ සිතෙහි කොතරම් බලාපොරොත්තු තියෙන්නට ඇතිද, ඇය තුලින් ඇගේ දෙමවුපියන් කොතරම් හීන දකින්නට ඇත්ද, ඈ නව යෞවනියක හා තරුණියක ලෙස කෙතරම් සිහින දකින්නට හා දකිනවා ඇතිද, ඇයගේ අනාගතය කොතරම් අඳුරක්ද වැනි කරුණු මාගේ මනස තුල හොල්මන් කරමින් තව තවත් මාව පෙළන්නට විය. අනේ කොතරම් දුක්කි:ත ජීවිතයක්ද? ඇය කොතරම් නම් මිනිසුන්ට සාප කරමින් හඬනවා ඇත්ද? ඇයගේ කඳුළු කතාව කෙසේ බිහි වන්නට ඇත්ද?

සොයුරියනි, තාත්තා ඇරෙන්න කිසිඳු පිරිමියෙකු පමනට වඩා විස්වාස නොකරන්න. සිය පෙම්වතා හට කොතරම් ආදරේ වූවත් සුදුසු නුසුදුසු දෑ ගැන සැලකිලිමත් වන්න. අවංකව ආදරේ කරන කිසිඳු පිරිමියෙකු ඔබගේ සිරුර බලාපොරොත්තු නොවන අතර කිසිඳු අයුරකින් හෝ තමන්ගේ ඇවෑමක් සිදුවුවද ඔබට ගෞරවනීය ලෙස ජීවත්වියහැකි සේ කටයුතු කරයි(පියා බඳු ආදරයක් දක්වයි). එබැවින් තම දිවි වෙනුවෙන් ඇවැසි විට ඕනෑම කෙනෙකුට එරෙහි වන්න. සැම විටම ස්වකීය ආරක්ෂාව සලසාගැනීම ගැන අවධානයෙන් සිටින්න, නව කරුණු ගැන දැනුවත් වන්න. විවාපත් වූ පසු ඔබගේ සැමියාට මනා ලෙස (සුදුසු ලෙස) සලකමින්, වදන් සහ හැසිරීම ගැන සැලකිලිමත් වෙමින් පවුල ආරක්ෂා කරන්න. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මා ප්‍රිය මිතුරනි, සැමවිටම ඇයට ගරු කරන්න, රැකබලාගන්න. සමාජයේ සිදුවන මේ වැරදි වලට අප සැම දෙනාම වගකිවයුතුය.